කාන්තාවන් වසඟ කරගත් රස්පුටින්
සර්බියාවේ ගම්මානයක ජීවත් වූ එෆිම් අකොව්ලොවිච් නම් ධනවත් ගොවියෙකුට සහ ඔහුගේ බිරිඳ වූ ඇනා එගොරොම්නා හට දාව උපන් දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ ග්‍රිගොරි යෙෆිමොවිච් රස්පුටින්ය.
Image: all-that-is-interesting.com
තරුණ වියේදී රස්පුටින්ද තම පියා මෙන්ම ගොවිතැන කටයුතු සඳහා දැඩි උනන්දුවක් දැක්වූ නමුත් අධික මත්පැන් පානයට සහ කාන්තාවන්ගේ ඇසුර ප්‍රිය කළ චරිතයක් විය. වයස අවුරුදු 20 සම්පූර්ණවත්ම පුස්කෝවියා ඩබ්රොව්නා නම් තරුණිය සමඟ විවාහවන ඔහු ඉතා කෙටි කලකින්ම සිව් දරු පියෙක් බවට පත්විය.
Image: all-that-is-interesting.com
රස්පුටින්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහු මිථ්‍යා විශ්වාසයන් පදනම් කරගත් ආගමික සංවිධානයකට බැඳීමයි. පවෙන් මිදීමට පෙර හොඳින් පව් කළ යුතුය යන්න විශ්වාස කළ ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදුන් ආගමික සංවිධානයක් විය.
Image: all-that-is-interesting.com
රස්පුටින් මෙම සංවිධානයට බැඳීම නිසා ඔහුගේ මුල් ආගමේ පූජකවරුන් විසින් ඔහුව ඉන් නෙරපා හරින ලදී. ඉන් අනතුරුව ඔහු රුසියාව පුරා සංචාරය කරන්නට වූයේ තම සංවිධානය ප්‍රචාරය කරමින් දේශන පවත්වමින්ය. රස්පුටින් සතුව ලෙඩ රෝග සුවකිරීමේ අසාමාන්‍ය බලයක් ඇති බවට විශ්වාසයක් ජනතාව අතර ප්‍රචාරයවීමත් සමඟ ඔහු ක්‍රමයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වන්නට විය. මෙම ජනප්‍රියත්වය යොදාගනිමින් ඔහු බොහෝ කාන්තාවන් තම වසඟයට ගැනීමට සමත් විය.
Image: us.macmillan.com
1905 වර්ෂයේදී රස්පුටින් ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණීම වැදගත් අවස්ථාවක් විය. ඔහු සතුව පැවති ලෙඩ රෝග සුවකිරීමේ අසාමාන්‍ය බලය පිළිබඳව තොරතුරු දැනගත් නිකලස් සාර් රජු සහ ඔහුගේ බිසව වූ ඇලෙක්සැන්ඩ්‍රා සාරිනා රස්පුටින්ව තමන් වෙත කැඳවන ලද්දේ තම පුත්‍රයා වූ ඇලෙක්සිස් හට වැළඳී තිබූ හිමොෆීලියා රෝගය සුවපත් කිරීම සඳහායි. රස්පුටින් විසින් කුමරුවා සුවපත් කිරීමට සමත් වූ අතර ඒ හේතුවෙන් රජ පවුලේ ගෞරවය හා අනුග්‍රහය ඔහු වෙත හිමි විය. මෙම අනුග්‍රහයෙන් ප්‍රයෝජන ගත් රස්පුටින් තම ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට පෙළඹුණි.
Image: telegraph.co.uk
රස්පුටින් යොවුන් වියේ සිටම දැඩි ලෙස ලිංගික ආශාවන් තිබූ පුද්ගලයෙකු විය. එම කාමාශාවන් මුල්වරට අවධිකරවනු ලැබුයේ රුසියානු හමුදා නිලධාරියෙකුගේ බිරිඳ වූ අයිරිනා කුබාසේවාය. ඇය සහ ඇගේ සේවිකාවන්ගේ පහස ලැබූ රස්පුටින් ඉන් පසුව නිරන්තරයෙන්ම ගණිකාවන්ගේ පහස පතන්නට විය. විවාහයෙන් අනතුරුව පවා ඔහු ගණිකා ඇසුර අත් නොහළේය. පෙර සඳහන් කරන ලද ආගමික සංවිධානයට ඔහු සම්බන්ධ වන්නේද ලිංගික අවශ්‍යතා වෙනුවෙනි. එහි ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවීමත් සමඟ කාන්තාවන් ඇසුර සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.
Image: express.co.uk
තමන් හා ලිංගිකව එක්වීම දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත හැකි මාර්ගයක් බව රස්පුටින් විසින් ප්‍රචාරය කරන ලද්දකි. මේ නිසා රෝග සුවකර ගැනීමට පැමිණි කාන්තාවන්ට පවා මොහුගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකිවුණි. ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිටි කාලයේදී කුලවත් වංශවත් කාන්තාවන් පවා මොහුගේ වසඟයට හසු වී තිබේ. රස්පුටින්ගේ මෙම ක්‍රියාකලාපය දැන සිටියද සාර් රජුගේ අනුග්‍රහය දිගින් දිගටම ඔහුට හිමි විය. මේ හේතුවෙන් අසීමිත බලයක් ඔහු වටා ගොඩනැගුණි. ඔහුට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකුත් එඩිතර නොවීය.
එහෙත් රස්පුටින්ට වෛර කළ පිරිසක්ද ශාන්ත පීටර්ස්බර්ග් නුවර විය. 1916 රස්පුටින් මරා දැමෙන්නේද එවැනි පිරිසකගේ කුමන්ත්‍රණයකිනි.
Image: all-that-is-interesting.com
එහි නියමුවා වූයේ රාජකීයයෙකු වූ ෆීලික්ස් යුසුපොව්ය. රස්පුටින් මරා දැමීම සඳහා වස ලබා දුන්නද ඔහු මරණයට පත් නොවූ බැවින් ෆීලික්ස් කුමරු විසින් ඔහුට වෙඩි තැබීය. පසුව ඔහුගේ සිරුර නේවා නදියට විසිකර දැමුණි. කෙසේ නමුත් රස්පුටින් මියගිය බව සඳහන් වන්නේ වෙඩි වැදීමෙන් නොව දියේ ගිලීමෙනි.
රස්පුටින්ගේ බිරිඳ වූ ප්‍රස්කෝවියා ඔහුගේ ක්‍රියාකලාපය දැන සිටියද එයට විරුද්ධ නොවීය. ඇය පවසා තිබුනේ මුළු ලෝකයේම කාන්තාවන් සතුටු කිරීමේ හැකියාව ඔහු සතු වූ බවයි. එහෙත් රස්පුටින් නිසා වේදනා විඳි කාන්තාවන් ප්‍රමාණය අසීමිතය.
Comments
Post a Comment