පොල් කෙන්දෙන් ලොව දිනු මිනිසා
🔴 පොල් කෙන්දෙන් ලොව දිනු ව්‍යාපාරිකයා.
🌻
දක්ෂතාවය ඇති නිර්මාණශීලි මිනිසකුට ජීවිතය ජයගැනීමට පොල් කෙන්දක් වුවද ප්‍රමාණවත්ය. ඔහු එය ප්‍රායෝගිකත්වයෙන්ම ඔප්පුකර පෙන්වූ මිනිසෙකි. බෙහෙවින්ම සාමාන්‍ය පවුලක දරුවකු ලෙස සමාජගතව අද ජාත්‍යන්තරය ද ජය ගනිමින් සිටින සාර්ථක ව්‍යවසායකයෙකි. ජගත් මංජුල යාපා නම් වන ඒ අපූරු ව්‍යවසායකයාගේ නාමය වයඹ පළාතේ ජනතාවට වඩා සමීපය. නමුත් ශ්‍රී ලාංකීය ප්‍රජාවේ බොහෝ දෙනා ඔහු ගැන දන්නේ -ගලුකු” (GALUKU) නමින්ය.
🌻
හොඳම ව්‍යවසායකයා ලෙස 2012 රිදී සම්මානයෙන්ද, හොඳම ව්‍යවසායකයා ලෙස නැවත රන් සම්මානයෙන්ද පිදුම් ලැබූ -ගලුකු” ව්‍යාපාර ජාලය ස්ථාපිතව ඇත්තේ කුරුණෑගලය. කොහුබත් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස ස්ථාපිත ගලුකු ජාත්‍යන්තරයේ ප්‍රකටව ඇත්තේ එම අංශයෙනි. ඊට අමතරව ගලුකු (ඇග්‍රි) පුද්ගලික සමාගම, ගලුකු හයිඩ්‍රොෆොනික් පුද්ගලික සමාගම, ගලුකු ලංකා එක්ස්පෝර්ට්ස්, ගලුකු එන්ටර්ටේන්ට්මන්ට් යනු ඒ සමූහය සතු පුද්ගලික සමාගම්ය. සේවකයකු ලෙස පුද්ගලික ආයතනයක සේවයට පිවිස පසු කාලෙක සමාගම් ජාලයක් නිර්මාණය කළ -ජගත් මංජුල යාපා” හෙවත් ගලුකුගේ ජීවිතය හැඩකර ගත් කතාවේ අරුමයයි මේ.
🌻● කොහොමද ඔබගෙ ව්‍යාපාරික ගමනට අඩිතාලම වැටුණේ?
උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව මගේ පළවැනි රස්සාව ලෙස පටන් ගත්තේ හොටල් කළමනාකරණ අංශයේ රස්සාවක්. මේ අංශයේ සිටියදී කර්මාන්ත ශාලාවක කළමනාකාරවයකු ලෙස කටයුතු කරන්න ලැබුණා. කාලයක් යනවිට ඒ කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරි ලෙස උසස්වීමක් දක්වා රැකියාවේ ගමන දීර්ඝ වෙනවා. ඒ උසස්වීම ලැබුණේ අපනයන සමාගමක. මේ නිසා ජාත්‍යන්තරය හා ව්‍යාපාර කටයුතු කිරීම ගැන ලොකු අවබෝධයක් ඇතිවුණා.
රස්සාවක් නැතුව මොනවද කළේ?
ආයතන දෙකක් දියුණු කරවීමට කැපවී සිට එයින් බැට කෑ මම, හොඳ පන්නරයක් ලබලා සිටියෙ. කොහොම හරි මම දන්න දෙයින්ම ගොඩ එන බවට සපථ කර ගත්තා. ආයෙත් ආයතන හදන තැන හිටියේ නැහැ. පළවැනි සහ දෙවැනි ආයතනවල සේවය කරලා ලබා ගත්ත විශේෂ අවබෝධයක් සහ දැනුම් පරාසයක් මා සතු ධනය වුණා. සැබෑ ධනයකට කියලා තිබුණේ රුපියල් 7000 යි.
🌻 ඒ රුපියල් 7000න්ද ‘ගලුකු’ සමාගමකට අත්තිවාරම දැම්මෙ?
අපනයන කරුවෙක් රුපියල් 7000 කින් තමුන්ගෙම සමාගමක් පටන් ගත්තා කිව්වාම ඒකෙ හරි ලස්සන කතාවක් වේවි. හැබැයි ඒ කතාව ඇතුළේ ලොකු ගැඹුරක් තියෙනවා.
🌻ඒ කුමක්ද?
මුලින්ම මට 7000න් පටන් ගනිද්දී කාර්යාලයක් වුවමනා වුණා. ගමේ ගෙදර තිබුණෙ කිරිඅත්තාගෙන් තාත්තා හට ලැබුණු ස්වර්ණභූමි ඉඩමක. ලයිට් කණු ටිකක් අටවාගෙන ගිහින් එතැන පොඩියට මගේ කර්මාන්ත ශාලාවට අත්තිවාරම දමා ගත්තා. පසුගිය කාලයේ මා සේවය ලබා දුන් ආයතන සමග ක්‍රියා කරද්දී මම හදා ගත්ත ලොකු මහජන සබඳතාවයක් ගොඩ නැගී තිබුණා. ඔවුන් සැබෑ ලෙසම මගේ හැකියාව ගැන දැන සිටියා. ඒ නිසා උදව් කරන්න විශාල පිරිසක් සිටියා. මැෂිමක් ඉල්ලුවාම මගේ වැඬේට මූලික මුදලක් නැතිව මැෂිමක් ලබා දුන්නා. ඇත්තම කිව්වොත් මගේ දේ ඇරඹීමට පෙර මේ කොහුබත් ආශ්‍රිත කර්මාන්තයට මම විශාල දෙයක් කරලා තිබුණා. ඒ කර්මාන්තය හා නියැලී සිටින ගමේ මිනිසුන්ගෙ සේවා විවිධ විදියට ලබා ගැනීමේ අවකාශය ඇති කරලා තිබුණෙ. කතාවට කියනවනෙ තල වැපුරුවොත් තල කියලා. මම ආයතන දෙකකට සේවය කළේ නිතර හොඳදේ වපුරවමින්. ඒ නිසාම මට මගේම දෙයක් පටන් ගැනීම අතිශය දුෂ්කර වුණේ නැහැ. මේ කෙටියෙන් කියන කතාව මම හිතන්නෙ නැගී එන ව්‍යවසායකයින්ට ආදර්ශයක් ගත හැකියි. විදේශීය ගැණුම්කරුවනුත් මට හිටියා. ඒ අතර සිටි ඔස්ටේ්‍රලියානු ගැණුම්කරුවකු මා ගැන කෙතරම් පැහැදී සිටියාද යත් එයාගෙ ආයතනයේ නම පවා ගන්න කීවා.
🌻 ඒ නමද ඔබ මේ යොදා ගෙන තිබෙන්නෙ?
ඔව් ගලුකු කියන්නෙ ඒ තමයි. හැබැයි 2004 දී එය තනි පුද්ගල ආයතනයක් ලෙස පටන් ගනිද්දි විශාල අභියෝග මට ආවා.
🌻ඒ මොනවගේ අභියෝගද?
මම නම ලියා පදිංචි කරවීමට කොළඹට එනවිට වෙනත් පුද්ගලයින් එය දැනගෙන එය ලියාපදිංචි කරවීමට වෙන්කරවාගෙන තිබුණා. ඒ මොහොතේ මම විශාල කලකිරීමකට ලක්වුණා. මේ මෙච්චර ධෛර්යෙන් එන ගමනට මෙහෙම කරන්නෙ ඇයි කියලා ඒ ගමන මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. අතෑරියෙ නැහැ. “මමයි - බිරිඳයි” අධ්‍යක්‍ෂ මඩුල්ලට දාලා සමාගම රෙජිස්ටර් කළා. එදා එය රෙජිස්ටර් කරන්න අනෙක් පාර්ශ්වය හා එක්ව කටයුතු කළ සමාගම් ලේකම් පසුව මගේ සමාගමේ ලේකම් ලෙස පත් වුණා. මගේ හිතවත් කෙනෙක් එයාට අයත් ගොඩනැගිල්ලක කොටසක මෙය පවත්වාගෙන යාමට මට ඉඩ ලබා දුන්නා. ඔන්න ඔය විදියට මගේ කොහුබත් අපනයන ව්‍යාපාරය පටන් ගත්තා. ඉන්දියාවට මුලින්ම කොහුබත් යවන වැඬේ පටන් ගත්තෙත් මමයි. ඒ ඉන්දියානු සමාගම හරහා මට ලොකු අවස්ථාවක් ලැබුණා. ඒ පාරත් නැව්ගත කරවීමට පෙර මගේ විදේශීය අපනයන කරුවන් මට මුදල් පවා එවීම කළා. එතෙර මෙතෙර මිනිස් සම්පත මම දිනාගෙන හිටියෙ ඒ විදියටයි. විශ්වාස කරන්න පළමු මාසයේදී බහාලුම් 50ක් නැව්ගත කරලා ලක්‍ෂ දහයක් ඉපයුවා.
🌻ඔබගේ ව්‍යාපාරය ඉන්පසුව දියුණු වුණේ?
ලාභය ආයෝජනය කරන්න පටන් ගත්ත නිසයි. අපනයනය සඳහා අවශ්‍ය කරන වටපිටාව හදාගත්තා. අලුත් නිෂ්පාදන හැදුවා. කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ නව නිෂ්පාදන බිහිකළා. පේටන්ට් බලපත්‍ර පවා ගත්තා. එක තැන මම පල් වුණේ නැහැ. කොහුබත් අපනයන කර්මාන්තය නගා සිටුවීමට වගේම නව්‍යකරණය වෙතින් ලෝකයට අලුත් දේ බිහිකළා.
🌻 ඔබ නිසා ඒ කර්මාන්තය නව පණක් ලැබූ බවද කියන්නෙ?
සහතිකෙන්ම ඔව්. කෘෂි කර්මාන්තයේ ලෝකයේ තියෙන හොඳම වගා මාධ්‍යයක් ලෙස කොහුබත්වලින් අපි නව නිර්මාණ ලෝකයට හඳුන්වා දුන්නා. ඒ වගා මාධ්‍යයට අවශ්‍ය දේ ඇතුළු විශේෂිත දේ මේ වෙළෙඳපොළට ලබා දුන්නා. “සිවිල් ෆික්ස්’ කියන නිර්මාණය අපේ “ගලුකු” නිෂ්පාදනයක් එය ඇමරිකාවේ ඉතාම ජනප්‍රියයි. සුරතල් සතුන් සඳහා වූ නිර්මාණත් අපි බිහි කළා.
🌻 “ගලුකු” අද මේ කර්මාන්තයේ කොපමණ තැනකද පසුවන්නෙ?
ව්‍යවසායකත්වයේ සම්මාන රැසක් ලබමින් සම්මානනීය ගමනක යෙදී සිටිනවා. මේ අංශයේ රටේ ප්‍රමුඛතම සමාගම් අතරින් එකක් කීම අතිශයෝක්තියක් නොවේ. ඊළඟට මට යා යුතු සුදුසු ඉලක්කයක් තිබෙනවා. අනාගතයේදී එය දැනගත හැකිවේවි.
🌻 දැන් මේ ගලුකු සතුව කර්මාන්ත ශාලා කොපමණ තිබෙනවද?
හතරක් පමණ තිබෙනවා. සේවක පිරිස 300 කට වඩා වැඩියි. ඊටත් වඩා වක්‍රාකාරව ගම් දනව් සිසාරා යැපෙන පිරිස් තවත් සිටිනවා. ගලුකු එන්ටර්ටේන්මන්ට් යටතේ අපි සිනමාවටත් පිවිසියා. තැන්ක් යූ බර්ටි, ස්පන්දන තිරගත වුණා. තුන්වරක් තුන තිරගත වීමට නියමිතයි. සිනමා ශාලා “ලේඛා” හෝමාගම සහ “සිනේසා” නාවලපිටිය සිනමා ශාලා සතුයි. ඊටත් අමතරව මගේම “ස්පන්දන” සංගීත කණ්ඩායම ස්ථාපිතකොට තිබෙනවා.
🌻 සංගීතයට ඔබ ලැදියි?
අපනයනකරුවකු වුවත් සංගීතයට කලාවට හරිම ලැදියි. ඒවා පාසල් කාලයේදීත් කළා.
🌻 “ගලුකු” සමාගම් ජාලය ප්‍රකට වුණේ කුමක් නිසාද?
මේ උපයපු ආදායම වැඩිකර සමාජ සේවා සඳහා යොදා ගත්තා. ඒ නිසා අපට වෙළෙඳ ප්‍රචාරණයට වඩා ජනතාව අතර වැඩි ප්‍රචාරයක් ලැබුණා. එය ඇත්තටම ජනතාවගේ “ආදරය” කිව්වොත් හරි.
🌻 තවත් මොනවා කරන්නද බලාපොරොත්තුව?
ව්‍යවසායකයින් වීමට අපේක්ෂා කරන තාරුණ්‍යයට රටේ අධ්‍යාපනයේ වාණිජ විෂයය විතරක් ප්‍රමාණවත් නැහැ ව්‍යවසායකත්වයට යාමේදී මූල්‍ය ප්‍රශ්නය ප්‍රධානව බලපානවා. ඒක මට බලපෑවේ නැහැ. නමුත් ව්‍යවසායකත්වයට යන තාරුණ්‍යයට පුද්ගලික අංශයේ අධ්‍යාපන ලබා ගත හැකි ආයතනයක් පටන් ගැනීම ඊළඟ අරමුණයි. විශේෂයෙන්ම ගම්වල සිටින කුඩා පරිමාණ ව්‍යවසායකත්වයේ සිට මහා පරිමාණය දක්වා යන තාරුණ්‍යය සඳහා. එය මගේ යුතුකමක්.
🌻මේ සියල්ල කරන්නෙ ඔබගේ දේශපාලන කටයුතුවලට ගත හැකි උදව් වශයෙන්ද?
මම හිරියාල ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක. එය මා හැදී වැඩී අධ්‍යාපනය ලද මගේ ආත්මය රැඳී තැනයි. නමුත් මම සමාජ සේවය කළේ සහ කරන්නෙ දේශපාලනයට එන්නම නෙවෙයි. මම විඳි දරිද්‍රතාවය තව කෙනෙකුට විඳින්න නොවේවා කියන පරමාර්ථය ඇතිව තමයි හැකිතාක් සමාජ සේවයේ යෙදෙන්නෙ. එහෙම යෙදෙන විට ජනතාවගේ ආශිර්වාද ඉහළින්ම ලැබුණා. එහි අවසන තමයි මා දේශපාලනයට ගෙනාවේ. ඒක හිතල කළ දෙයක් නෙවෙයි. ජනතාවගේ ආශිර්වාද මැද ඇයි මම දේශපාලනයට ආවේ? මම හීන දකින්න කැමැතියි. හීන දිගේ යන්න කැමතියි. මගේ ආසනය තිබුණෙ සංවර්ධිත තැනක නෙවෙයි. දැන් යුතුකම වන්නෙ ඒ “හිරියාලට” නව ජීවනයක් ගෙන දීමයි. පාර්ලිමේන්තුවට යාම කෙසේ වෙතත් මම එය කරනවා.
🌻 ඇයි ඔබ මේ තරමට වෙලාවකට ජනතාවට එපා වූ දේශපාලනයට ගියේ?
මම දේශපාලනයට එනවට අපේ කවුරුවත් කැමති වුණේ නැහැ. දේශපාලනය කෙරෙහි තියෙන අප්‍රසාදය නැති කරන්නත් පුළුවන් අපටමයි. අපේ රටේ තවදුරටත් ගෞරවනීය දේශපාලන චරිත සිටිනවා. අන්න ඒ ගෞරවනීය තැන හදන්න පුළුවන් තැනත් දේශපාලනයයි. ඒ නිසයි මම එතැනට ආවේ. ඒ ගමන යන්න මට මගේ මව්පියන් සහ බිරිඳ නිදහස් පරිසරය හදා දී තිබෙනවා. නායකයාට තනතුරක් අවශ්‍ය නැත. ඔහුට ඇත්තේ වගකීමක්ය යන්න ආචාර්ය ෂර්මා රචිත පොතක තිබෙනවා. මා එය විශ්වාස කරන දර්ශණයක්.
🌻ජීවිතේ ඔබ කොහොමද ජය ගත්තේ කියලා ඇහුවොත්?
ජීවිතයට මට දිගටම ආවේ අභියෝග. මම ඒවාට මුහුණ දුන්නා. අභියෝග ජයගත්තාම ජීවිතය ජයගන්න පුළුවනි. හැබැයි උත්සාහය හරි වැදගත්. සිහින දිගේ ගියා. සිහින ඉටුකර ගත්තා. ප්‍රශ්නවල මුහුණ දුන්නා. ඒවා විසඳා ගත්තා. ජීවිතයේ ප්‍රශ්න අවම කර ගත්තා. ඊට හොඳ මුල්‍ය කළමනාකරණයක් අවශ්‍යයි.
🌻 මේ ‘ගලුකු” කියන නාමයෙහි තේරුම?
එය ඔස්ටේ්‍රලියානු ආදී වාසීන් භාවිතා කරන නාමයක්.
🌻“ජීවිතයට” ජයක් ගෙනෙන්න නම් ව්‍යවසායකත්වය කුමක් කළ යුතුය කියල ද ඔබ විශ්වාස කරන්නෙ?
හැකිතාක් ලෝකයට නව නිපැයුම් කරන්න. ලෝකයේ එවැනි තැනක් තියෙනවා. නගරයේ සැප පහසුකම් සහිත පාසල ගමට ස්ථාපිත කරවමු. නගරයේ හිරගෙය ගමේ කැලෑවට ගෙන යමු. සමාජය වෙනස් කළ යුත්තේ එවැනි දර්ශනයකින්. එවිට ලෝකයේ විශිෂ්ටතම රට බවට මෙය පත් කළ හැකියි.
(ලංකාදීප පුවත්පත ඇසුරිනි )
Comments
Post a Comment