ඒකාකාරිත්වයෙන් ඔබ්බට..

මේ කථාව මේ ලෝකයේම ජීවත් වන තවත් එක් මිනිසෙක් පිළිබදව.. හැබැයි ලංකාවෙනම් නෙවේ , ඇමරිකාවේ..ඔහුගේ රැකියාව වුනේ අලෙවි නිලධාරියෙක් විදිහට කටයුතු කිරීම. ඔහු අලෙවි කලේ වෛද්‍ය උපකරණ. මුලදී ඉතා සාර්ථක අයුරින් බලාපොරොත්තු රැසක් එක්ක ජීවිතය ආරම්භ කලත්, පසුව ඔහුගේ අලෙවිය හිතාගන්න බැරි තරම් පහල වැටෙන්න පටන් ගත්තා.

කොටින්ම කීවොත් ඔහුට ඔහුගේ බිරිදගේ වැටුපෙන් ජීවත් වෙන්න සිදුවුනා. දරුවගේ ඉගෙනිමේ වියදමත් පියව ගන්න නොහැකි තරම් ඔවුන්ට අගහිගකම් ඇතිවුනා. රජයට ගෙවියයුතුව තිබූ බදු මුදල් මාස තුන හතර ඇන හිටියා. ඔහු දිවා රෑ මහන්සි වුනත් ඔහුට එකම උපකරනයක්වත් විකුන ගන්න ලැබුනේ නෑ. දවසින් දවස කරදර වැඩි වෙනකොට ඔහුගේ බිරිද පවා ඔහුව නොසලකා හැරියා, නිකමෙක් විදිහට තමාගේම පවුලෙන්ම එල්ලවෙන චෝදනා වලට ඔහුට කිසිම නිදහසට කාරනාවක් නැතිව බලාගෙන ඉන්න සිදුවුනා. එහි අවසානය වුනේ තමන්ගේ බිරිද ඔහුට නොකියම දරුවත් සමග ගෙදරින් පිට වීම. නමුත් ඔහුට දරුදුක දැනෙන්න පටන්ගත්තා. තමන්ගේ දරුවා නැතිව ඉන්න බැරිම තැන, මොනවා හරි කරලා දරුවව බලා ගන්නවා කියලා ඔහු දැඩි තීරනයකට ආවා.

දවසක් හොරෙන්ම දරුවගේ ළදරු පාසලට ගිහින් නිම වෙන්නත් කලින් ඔහු දරුවව අරගෙන එතනින් පිට වුනේ ඒ චේතනාවෙන්. නමුත් අවාසනාවකට වගේ දරුවව හරි ආකාරයෙන් බලා ගන්නත් ඔහුට හැකියාවක් ලැබුනේ නෑ. ඔහුට ආයෙමත් තමන්ගේ හැරගිය බිරිදට කතාකරලා උදවු ඉල්ලන්න සිහුවුන වාර අනන්තයි අප්‍රමානයි.

මේ අතරේ දවසක් ඔහු ඇමරිකාවේ ප්‍රදානම වෙලද මද්‍යස්ථානයක් වන, වොල්ට් වීදිය හරහා ඇවිදගෙන යනකොට ඔහු දැක්කා රතු පාට අලුත්ම මෝටර් රථයකින් ඇවිත් බහින මහත්මයෙක්. ඔහු එක පාරටම ඒ මනුස්සයා ගාවට දුවගෙන ගියා. ඔහු දිහා බලලා ඉතා උනුසුම්ව සිනාසුනා.. ඔහු කීවා " සුභ උදෑසනක්, මට ඔබෙන් අහන්න ප්‍රශ්න 2ක් තියෙනවා..

1.ඔබ මොනවාද කරන්නේ?

2.කොහොමද ඔබ ඒක කරන්නේ?

ඉතා වැදගත් විදිහට සිනාසුන ඒ මහත්මයා කීවා. "මම කොටස් තැරැව් කරුවෙක්"

"කොටස් තැරැවු කරුවෙක්! එහෙම වෙන්න ඉතින් ඉස්කොලේ ගිහින් තියෙන්න ඕනෙනේ" ඒක අහගෙන හිටපු ඔහු ටිකක් වේදනාවෙන් කීවා

" නෑ එහෙම වෙන්නම ඕනේ නෑ, ඔයාට ගනන් හදන්න හොදට පුලුවන්නම්, මිනිස්සු එක්ක වැඩ කරන්න පුලුවන්නම් ඔයාටත් පුලුවන්" ඒ මහත්මයා ඔහුගේ පිටට තට්ටුවකුත් දාල තමන්ගේ ගමන යන්න ලෑස්ති වුනා.

"බොහොම ස්තුතියි, ඔබට සුබ දවසක්" ඔහු ඒ මහත්මයා දිහා බලලා සුභ පැතුවා

ඔහු ඒ මොහොතේ අවට බලන හැම තැනම ඔහු දැක්කේ ඉතා සතුටින් ඉන්න මිනිස්සු.. ඔහු තමන්ගෙන්ම ඇහුවා ඇයි මට එහෙම වෙන්න බැරි කියලා.

ඔහු අවසානයේ තීරනය කලා ඔහුත් කොටස් තැරැවු කරුවෙක් වෙන්න උත්සාහ කරනවා කියලා.

ඔහු අවසානයේ Dean Witter Reynolds  සමාගමට නවක කොටස් තැරැවු කරුවෙකු ලෙස රැකියා ඉල්ලුම් පත්‍රයක් යොමු කලා.. නමුත් එය හිතපු තරම්ම ලේසි වැඩක් වුනේ නෑ. කොටස් තැරැවු කරුවන්ලෙස බදවා ගැනීම සිදු වුනේ සම්මුඛ පරීක්ෂණයකින් පස්සේ එත් එහිදී ඔහුට සිදුවෙනවා මුදලක් නොලබාම වැඩ කරන්න, එහිදී සිදුකරන විවිද විභාග වලට මුහුන දෙන්න. එයින් ඔහු සමත් වුනොත් පමනයි ඔහුට රැකියාව ලැබෙන්නේ. ඒ විතරක් නෙවේ ඔහු අනිත් අය අභිබවා පලමු තැන ගන්නත් සිදුවුනා. මොකද Dean Witter Reynolds සමාගම ඉල්ලුම්කරුවන් සියල්ලටම ලබාදුන්නේ එක රැකියා අවස්ථාවක් පමණයි.

අවසානයේ ඔහුට Dean Witter Reynolds  සමාගමේ පලමු සම්මුඛ පරීක්ෂනයට අදාල ඇමතුමක් ලැබුනා. ඔහුට එදා හිටියේ පුදුම සතුටකින්,ඒ ගමන්ම ඒ දින කීපය තුල ඔහුට වෛද්‍ය උපකරනයක් විකුන ගන්නත් අවස්ථාවක් ලැබුනා. ඔහු ඒ හැගීමෙන්ම ගෙදර ඇවිත් ගෙදර පොඩ්ඩක් අලුත් වැඩියා කරන්න පටන් ගත්තා. ඔහුට හිතුනා තමන්ට ලැබෙන්න යන අලුත් ජීවිතයට අලුත් විදිහට මුහුන දෙන්න එයත් උදව් වෙයි කියලා. නමුත් ඒ සතුට වැඩි වෙලාවක් නොතියෙන බව ඔහු හීකෙකින්වත් දැනගෙන හිටියෙ නෑ.

පැය කීපයක් ගත වෙන්නත් කලින් ඔහුව පොලිසියෙන් අත්තඩංගුවට ගත්තා දඩ මුදල් ගෙවීම පැහැර හැරීමේ වරදට. ඔහු ඉතුරු කරගත් ඉතා සුළු මුදලත් ඔහුට ඒ සදහා වැය කරන්න සිදු වුනා. ඔහු ඒ  වෙනුවෙන් චෙක් පතක් ලබා දී එතනින් පිටවෙන්න උත්සාහ කලත් ඔහුට පසු දින ඔහු ලබා දෙන චෙක් පත නිශ්කාශනය වෙන තෙක් පොලිස් කූඩුවේ ලගින්නට පොලීසියෙන් නියෝග කලා. ඔහුගේ සියලු හීන සැලසුම් සියල්ල ඇස් පනාපිට බොදවීගෙන යන ආකාරය ඔහුට පෙනෙන්න පටන් ගත්තා. ඒ මොහොත වෙනකොටත් ඔහුගේ දරුවා සිටියේ ළදරු පාසලේ, පසු දිනට ඔහුගේ පලමු සම්මුඛ පරීක්ෂනය යෙදී තිබුනා.  අවසානයේ ඔහුට නැවතත් තම හැරගිය බිරිදට දරුවා එක් දිනකට පමනක් බලාගන්න ලෙසට ආයාචනා කරන්නට සිදුවුනා. ඔහු පොලිසියෙන්ම දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ බව දැනුම් දුන්නා. ඔහු රැකියාව පිලිබද සිහිනය එවලේම අත්හැරියා.

නමුත් පසුදින තම සම්මුඛ පරීක්ෂණයට විනාඩි කීපයකට කලින් ඔහුට පොලිසියෙන් පිට වෙන්නට අවස්ථාව ලැබුනා. ඔහු ඒ වෙලාවේ හිටියේ  නිවස අළුත් වැඩියාවට හැද සිටි කුනු දූවිලි සහිත ඇදුම පිටින්, ඔහු ඒ ආකාරයෙන්ම Dean Witter Reynolds සමාගම වෙත දිව ගියා. ඔහු තමා පැමිනි සිටි ආකාරය පිලිබදව ඔවුන්ට කනගාටුව ප්‍රකාශ කලා. නමුත් එහිදී ඔහුගේ අද්‍යාපන සුදුසුකම් ප්‍රමානවත් මට්ටමකින් තිබුනේ නෑ

එවිට ඔහු කීවා " මම මොනවා හරි දන්නේ නැත්තම් මම ඔබට කියනවා මම දන්නේ නෑ කියල , නමුත් මම ඔබට පොරොන්දු වනවා ඒ දේ ඉගෙන ගන්න ආකාරය මම දන්නා බව, අවසානයේ ඔබට පිලිතුර ලබා දෙන බව". ඔහුගේ වාසනාව යම්තාක් දුරකට එම වචන පෙලත් සමගම මතුවෙන්න පටන් ගත්තා.

ඔහුට මුදලක් නොමැතිව එහි වැඩ කරන්න අවස්ථාවක් ලැබුනා. ඔහුගේ එකම අරමුන වුනේ එම රැකියාව ලබා ගැනීම. ඔහු වැඩියෙන් වැඩ කලා, හැකි උපරිමෙන්ම. අන් අය විවේකයන් ගනිද්දී ඔහු වැඩ කලා. ඒ අතරෙදී ඔහුට ඉහල නිලදාරීන්ට බැල මෙහෙවරකම් පවා කරන්න සිදුවුනා.

සියල්ල විදදරාගෙන ඔහු ඉදිරියටම ගියා. නමුත් ඒ මොහොතෙදී ඔහුට ඔහුගේ නිවස අහිමි වුනා.  කුලී මුදල් ගෙවන්න තරම් ආදායමක් ඔහු සතුව තිබුනේ නෑ. ඔහුට තිබූ එකම විකල්පය වුනේ දරුවාත් අරන් පාරට බැහීම. ඔහු ඇතැම් දින වල ඇමරිකාවේ හිගන මිනිසුන්ට රාත්‍රී නවාතැන් දෙන ස්ථානයක නිදන්නට අවස්ථාව උදාකර ගත්තා. එය අහිමි දින වලට ඔහු නිදා ගත්තේ තම දරුවාත් තුරුලු කරගෙන දුම්රිය පොලේ පොදු වැසිකිලියේ. ඔහුට බොහෝ දින වලට දරුවාගේ කුස පුරවා නිරාහාරව ඉන්නට සිදුවුනා. නමුත් ඒ කිසිවක් ඔහුගේ අරමුන පසෙකලන්නට තරම් ශක්තිමත් වුනේ නෑ. අවසානයේ ඔහු සියලු පරීක්ෂණ වලින් සමත්ව Dean Witter Reynolds සමාගමේ ආදුනිකයෙක් ලෙස රැකියාව හිමිකර ගත්තා.

එයින් නොනැවතිනු ඔහු  Gardner Rich & Co නමින් තමාගේම ආයතනයක් කුඩාවට පටන් ගත්තා. කාලයත් සමග ඔහු ඩොලර් මිලියන ගනනින් උපයන්න පටන් ගත්තා. පසුව ඔහුගේ කතාව ඇසුරෙන් චිත්‍රපට පවා නිශ්පාදනය වුනා.

ඔහුගේ නම  Chris Gardner, අද වන විට මුලු ඇමරිකාවම, ලෝකයම ඉතා ගරු කරන පුද්ගලයෙක්, ඩොලර් මිලියන ගනනක වත්ලම් වල හිමිකරුවෙක්.

"ඒකාකාරි සාර්ථකත්වයෙන් මිදි වැටි වැටි නැගිටන,නින්දා අපහාස ඔස්සේ,බැනුම් ගැරහුම් මැද්දෙන් යන ,අසාර්ථකත්වයේ පතුළටම වැටුන,මානසිකව තැවි තැවි එයින් ජිවිතය ගැන අවබෝධයක් ලබා වෙනස් ආකාරයෙන් ලොව දිනමු අපි......"..............
                  

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ