රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

බස් එකක යද්දි විඩාව නිවා ගන්න සිංදු අහන එකයි, විනෝදාංශයක් විදියට ලස්සන සිංදු ටිකක් තෝර ගෙන ඒවායේ අරුත් විමසා අහන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඉස්සර කාලේ සමහර අපේ ගායකයෝ ගායනා කරපු සිංදු වල සරල සුගම බස් වහරක් තිබුනත් එහී ගැබ්වු අර්ථය නම් බැලු බැල්මටම සරළ නොවන බව නම් සැබෑය. එත් දැන් කාලේ ඇහෙන සරල, බොළඳ සිංදු වලට අනාගතයේ අපේ ළමයි කොහොම ගීත විචාරයක් දෙයි ද කියලා හිතන්නවත් බැරි තරම් . ඒ වගේම සිංදුව ඒක පාරක් ඇහුව ගමන් ගීත රචකයාගේ ඊළග සිංදුවට දාන වචන උනත් කියන්න පුළුවන්. ඒ තරම් සරලයි, සිල්ලරයි

ආදරය ගැන තියෙන සිංදු වලට වඩා විරාහව ගීතයට නගලා තියෙන අවස්ථා වැඩියි. එහේම නේද? ආදරය කළාට අපි අහන්නේ විරහා සිංදුම නේහ්. ආදරයට වඩා ගොඩක් දෙනා විරහා රසට ඇගළුම් පානව වගේ . 

කෙසේ හෝ මා පෞද්ගලිකවම අගය කරන, රස විදින ගීත රචකයෙක් ඉන්නවා නමින් ඔහු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කරපු රත්න ශ්‍රී විජේසිංහ මහතායි. ඔහු රචනා කරපු ලස්සන ගීත කිහිපයක අරුත් හොයා බලන්න මට හිතෙන්නේ ඔහුගේ “අජානේය ස්කූටර” සිංදූව ඇහුවාට පස්සේ. අරුත් රසයෙන් අනූන සිංදු කිහිපයක් පාථක සියළු දෙනා රසවිදින්න කැමැති ඇතැයි සිතා මෙම ලිපිය ලියන්න හිතුවා.

01. අජානේය ස්කූටර

Image: sloanphotographers.com

“අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා”

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ විරසිංහ
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

 මේ සිංදුව අහපු මුල්ම දවසේ මට ආව මුල්ම ප්‍රශ්නය තමයි අජානේය කියන වචනයේ තේරුම. සොයන්නාට සම්බවේ නිසා මාත් හෙව්වා අජානේය වචනයේ තේරුම .

අජානේය කියන්නෙ බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයක්. දුක නිපාතයේ පුග්ගල වග්ගයේ සූත්‍රවල සඳහන් වෙනව. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්ත්වයන් සිවු දෙනක් ගැන. ඒවා නම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා (සීහො ච මිගරාජා ) යන සිව්දෙනා.

අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙක්. මෙහිදි ගීත රචකයා අජානේය අශ්වයාට සම කර ඇත්තේ පවනට බදු වේගයෙන් යන ට්‍රේලර් බයික් එකක්. රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු බොහෝ සිංදු වලට පාදක වෙලා තියෙන්නේ ඔහුට අත්විදින්න සිදු වු අත්දැකිම්. මෙම ගීතයට ද පාදක වී ඇත්තේ ඔහුගේ විශ්වවිද්‍යාල ජිවිතයේ සමකාලීනයයෙක් ගේ අත්දැකිමයි. එසේම ජාතක කථා පොතේ දිගම ජාතක කථාව වන උම්මග්ග ජාතකයේ සිරි කාළකන්නි නම් කථාව සමඟද මෙම ගිතයෙහි සම්බන්ධයක් ඇත.

උදුම්බරා මල ගැන කියවෙන්නේ ඒ නිසාවෙනි. පළමු පංතියේ සාමාර්ථයක් ලබා ගත්තද කුමන හෝ හේතුවක් නිසා විජේසිංහයන් ගේ මිතුරාව කිසිදු ආයතනයකින් වැඩට ගන්න අකැමති වෙනවා. අන්තිමේදී ඔහුට හිමි වෙන්නේ RDA එකේ අනියම් සේවකයෙක් විදියට වැඩ කරන්න. විශ්වවිද්‍යාලයේදි හඳුනාගත් ඇය අද ඔහුව අතහැර ට්‍රේලර් බයික් පදින පෙම්වතෙක්ගේ පෙම්වතියක් වි ඇති බව ඔහු දැන ගන්නේ පාරේ වැඩ කරන අතරතුරදී ය. පවනට බඳු වේගයෙන් යන බයික් එකක නැගලා පෙම්වතාගේ උරහිසින් අල්ලා ගෙන වටපිට සිරි නරඹමින් යන ඇයව දැක්කාම ඔහුට සිතුනේ ” විලාසයට ඔබේ කිරුළ බිම වැටෙයිද සිතුනා ” කිරුළු අහිමි ඔහුව හැරදා ඇය දැන් රජෙකුගේ ගේ රැජිණක් වි හමාරය.

ගීතයෙහි කිරුළ යනු හෙල්මට් එකට යොදා ගත්ත අලංකාර උපමාවකි. ෆුල් ෆේස් හෙල්මට් එකක් වෙන්නත් පුළුවන්. මෙහි පාරගතව යනු කෙළවරට නැත්තම් අවසානය තෙක් යන්නයි. සූ සැට ශිල්පය එනම් උගත යුතු සියළු ශිල්පය ඉගෙන ගත්තදා අවසනදි ඔහුට හිමිවියේ පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල විතරයි. දහඩියෙන් තෙත් වු සිරුර දැක පිළිකුළෙන් මෙන් ඇය සුවඳ විළවුන් ගැල්වු ලේන්සුවෙන් නාසය වසා ගන්නේ මේ පෙර මගේ පෙම්වතා දැයි සිතා උපහාසයට මෙනි.

කුරුණෑගල යුගයේ විරසිංහ පතිරාජ නම් අමාත්‍යවරයා ලියු දිර්ඝතම ජාතක කථාව වූ උම්මග්ග ජාතකයේ එන අතුරු කථාවක් වන සිරි කළකන්නි නම් කථාවේ පිංගුත්තර සහ මෙම ගීතයෙහි සිටින තරුණයා අතර සැසඳිමක් ගිතයෙන් නිරූපණය වේ. උදුම්බරා මල් යනු කිසි දිනෙක පිපෙන මල් වර්ගයක් නොවේ. කථාවක් තියෙනවා බුදුවරයෙක් මෙලොව පහළ වීමේදි පමණක් උදුම්බරා මල් පිපෙන බව.හීතෝපදේශයේ එන ශ්ලෝකයක් තියෙනවා එයිනුත් පැහැදිලි කරන්නේ උදුම්බරා මල් යනු නොපිපෙන මල් වර්ගයක් බවය.

“අව්දුම්බරන් බවන් පුෂ්පන්
ශ්වෙත වර්ණාච කාකයෝ
මත්ස්‍ය පාදන් ජලේ වග්ගේ
නාරී චිත්තං නවිශතී”

උදුම්බරා මල් පිපෙනවා කියලා විශ්වාස කරත්, සුදු පාට කපුටන් ඉන්නවා කියලා විශ්වාස කරත්,මත්ස්‍යයන් ගේ පා සටහන් ජලයෙහි ඇදි තියෙනවා කියා විශ්වාස කරත්, කාන්තාවන් ගේ සිත නම් විශ්වාස නොකරන්න යැයි මේ ශ්ලෝකයෙන් අදහස් කරනවා. .  රුචිරාණනි අහන්න, ඒක පාර මා මරන්න කියන පෙම්වතෙකුට වඩා තම ප්‍රේමවන්තියගේ සතුට දැක තමාගේ දුක,ආදරය සාධරණීකරණය කරමින් ඔහු විසින් තමාගේ හිත සනස ගන්න අපුරුව! “කාට අහිමි වුනත් සාධු මල් පිපියන් සැමදා.” පොඩ්ඩක් ඇත්තම් මරනවා,කොටනවා කියන අදහසින් ඉන්න අද කාලේ පෙම්වතුන්ට වඩා ඔහු කොතරම් නම් නිහතමානීව ද? එවැනි පෙම්වතුන් සැමදාම ඉදිවි උදුම්බරා මල් පිපෙනකන් තම ආදරය හිතෙහි සුරක්ෂිත කරමින් . 

02. සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලි

Image: letuspublish.com

“සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී……………

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වසී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී….

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

 වසර තිහක් පුරාවටම අප රටේ පැවති යුධමය තත්වය නිසාවෙන් අහන්න ලැබුනේ වෙඩි වැදිම්, බෝම්බ ගැසිම්, සමුල ඝාතන වැනි හිත සලිත කරවන සිද්ධින්. එවැනි කාල වකවානුවක් තුළ ජාතින් දෙකකට අයිති පෙම්වතුන් දෙදෙනකු අතර ඇති වුන ආදර යුද්ධයක් ගැන මෙම ගීතයෙන් කියවේ. ජාතී, ආගම්, ආදරය නැමැති හදවත් ගනුදෙනුව ට කිසිසෙත් අදාළ නොවන බව සැබෑය.

නමුත් බාහිර පාර්ශවයන් ආදරයට හරස් වෙන්නේ ජාතිවාදි අදහස් පෙරදැරි කරගෙනය. සිංහල කාන්තාවක් පොළිස් සේවයේ නිරතව සිටියදි හාද වූ දෙමළ තරුණයෙක් සමඟ ඇති කරගත් ප්‍රේම කථාව මෙම ගීතයට වස්තු බිජය වී ඇත. “සිංහල සිංදු කියන, නළලේ තිලක තියන කිරිල්ලි” යන්නෙන් ජාතින් දෙක අතර ඇති වෙනස රචකයා මැනවින් හුවා දක්වා ඇත.

ආදරයේ නාමයෙන් ජාතිවාදි හැඟිම් පසෙක ලා ආදරය දෝරේ ගලා යන හදවතත් රැගෙන ගිනි ගත්ත තල් අරණයට ඇය පියාඹන්නේ තම පවුලේ සියළුම හිතවතුන්ගේ හිත් වෛරයෙන් ඇවිලි ඇති මොහොතක ය. මනාලියකට හිමිවන සුන්දර මල් පොකුර වෙනුවට ගින්දර වලින් සැඳු මල් පොකුරක් අතට අරන් කටුක යහනාවක මධුසමයේ සුව විදිනා ඇය ජාතියක් වශයෙන් පවා දෙන්නියක් වුවද කැපකිරිම් මත ආදරය සුරක්ෂිත කර ගත් අවංක පෙම්වතියෙකි.

ජාතීන් දෙකක් ජාතිවාදි හැඟිමෙන් සටන් වදින මොහොතක දෙමළ තරුණයා ඇයගෙන් අයදිනුයේ,

“ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවි.”

සෑමදේම අනිත්‍යයි යන්න වටහා නොගත් මිනිසුන් කොට්ඨාසයක් භූමියකට සටන් වදින විට දුක් විඳින්නේ කිසිදු වරදක් නොකළ අහිංසක මිනිසුන් පිරිසක්‍ ය. ඔවුන්ගේ කඳුළු සිංහලද දෙමළ ද යන්න අදාළ නොවේ. වටින්නේ මනුෂ්‍යත්වය යි. එවන් බිහිසුණු, කටුක කාලයක් නැවත උදා නොවි ජාතීවාදි හැගිමෙන් තොරව සෑම ආදරයක්ම සාර්ථක වේවා යැයි ජාතියක් ලෙස නොව මානුෂික ලෙසින් ප්‍රාර්ථනා කළ යුතුය.

03. නින්ද නැති රැයේ

Image: lanlinglaurel.com

“නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිමි සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ..”

පදරචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය, ගායනය : විශාරද ගුණදාස කපුගේ

 සැබෑ ආදරයට සැමදා උරුම විරාහව යැයි බෝහෝ ප්‍රේමවන්තයින්ගේ මතයයි. හදවත් නොගැළපිම් නිසා උපදින විරාහව සත්තකින්ම වේදානවකි. ලූෂන් බුලත්සිංහල මහාතා කියන විදියට,

සැබැ පෙම්වතුන් කිසිදිනක
එක් නොවේ…
එක් වුවන් කිසිදිනක සැබැ පෙම්වතුන්
ලෙස ජිවත් නොවේ…
වෙන් වුවන් සදහටම සැබැ පෙම්වතුන්
ලෙස ජිවත් වේ…

ආදරය නම් සුන්දර හැඟිම නාඹර හිතට දැනෙන කාලය හරිම සුන්දර අත්දැකිමක්. ප්‍රථම ප්‍රේමය මුවාවෙන් පෙම්වතුන්ගේ හදවත්වල ආදර හැඟිම් දළුලා වැඩෙන්නේ දඟකාර තාරුණ්‍ය තවත් ලස්සන කරමිනි. කාලයාගේ ඇවෑමෙන් අදහස් අතර වෙනස්කම් විරහාව නම් සුන්දර වේදනාවට මඟ පාදන්නේ පෙම්වතුන් දුකින් වේලා ගනිමිනි. රත්න ශ්‍රී විජේසිංහයන් ගේ අත්දැකීමක් ඇසුරෙන් රචනා වු මෙම ගීතය පරාජීත ප්‍රේමවන්තයින් සහ ප්‍රේම වන්තියන් අතර ජනප්‍රිය ගීතයකි.

 මිදුමෙන් වැසි හැංගි ඉන්නා හඳක් අයුරින් මුළු ලොවෙන් වසන් වී කඳුළු සලා තම ප්‍රථම ප්‍රේමයෙහි විරහා වේදනාව විඳින සුන්දර ගැහැණු ළමයෙක් ගැන රචකයා ගීතයෙන් විදහා දක්වයි. කඳුළු වලට ලස්සන ඇස් දෙකේ නිල් පාට කාන්තිය වියැකි, රෝස පාට තොල් කඩා හැලි හඬන ඇයගෙන් විරහවේ වේදානාව මැනවින් නිරූපණය වේ.

ප්‍රේමවන්තයාගේ චරිතයට ආරුඨ වන රචකයා ඇය ළගට ඔහුව සිහිනෙන් ගෙන යන්නේ ආදර කථාවට සමුදිම සඳහාය. ඇගේ උණුහුමට තුරුළු වී විරහවේ වේදනාව බෙදා ගන්නා ඔහු අවසනයේදි ඇයට පවසන්නේ

” ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ” ලෙසය.

ජිවිතය මැනවින් හදුන ගත් ඔහු ඇයට ජිවිතය ගැන තේරුමක් ලබා දී සමුගන්නා අයුරු අපූරුය. විරහා වේදනාව දාරා ගන්න බැරිව ජිවිතය තොර කර නොගෙන ජිවිතයේ කටුක බාවයත් එයට මුහුණ දිය යුතු අයුරුත් ඔහු ඇයට පහදා දෙයි. ජිවිතය නම් කටු පදුරට දෙතොල් තබා සිඹින මුත් එහි වේදනාවෙන් කිසියම් දවසක ලස්සන මල් පොකුරු පිපෙවි යැයි ඔහු පවසනවා. අද කැපකිරිම තුළින් මතු අනාගතය ලස්සන වේයැයි ඔහු ධනාත්මක ලෙසින් ප්‍රේමයට සමුදෙන අයුරු අවසන් පද පෙළෙන් නිරූපණය වේ.

04. මිනින්දෝරු කන්තෝරුවෙ

Image: askideas.com

“මිනින්දෝරු කන්තෝරුවෙ
මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද
දම්වැල් අරගෙන

පිං ‍කුඹුරු නෙළන කාලෙට
මට හීල අරන් එන
ඉස විසාදියට තෙල් උලලා
තෝන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට………

දෙයි හාමුදුරුවො දන්නවනම්
දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි
සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට……

www.askideas.com

පද – රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය – එච්.එම්.ජයවර්ධන
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

 දෑස් පියවුනාට මානව සම්බන්ධතා අතර පවතින ශක්තිමත් බව කිසිදා නොමියන බව හරි අපුරුවට හුවා දක්වන ගීතයක්. බොහෝමයක් දෙනා අසා නැති අපේ කණට වැඩිය හුරු නැති ගිතයක් වුනත් ආදරයේ පරක් තෙරක් නොමැති බව හදවතට දනවන අපුරුව! රචකයාගේ දක්ෂතාවය මැනවින් නිරූපණය වෙනවා. ආදරය කිසිදා වයසට යන්නේ නැහැ. නාඹර වියේදී පෙමින් වෙළි උන්නා කාලයෙත්, විවාහ වී දරු මල්ලෝ ලැබුනායින් පසුවත්, වියපත් වු විටත් ඒ සුන්දර හැඟිම කිසිදා නොමියෙනු ඇත. එනම් ආදරය යනු සදා අමරණිය හැගිමකි.

නඩු හබ වලට පැටලෙන සහෝදර සහෝදරියන් පිරිසක් මෙම ගීතයෙත් ජිවත් වෙනවා. උසාවී නියෝගයක් ඇවිත් තිබුනත් ඉඩම මනින්න අවසර නොදෙන කිරි බණ්ඩා නම් වියපත් ස්වාමියා එය වළක්වන්න උත්සාහ දරනුයේ තම ප්‍රිය බිරිදගේ සොහොන් කොත එහි පිහිටා ඇති නිසාවෙනි.

මිනින්දෝරු මහත්තුරු දම් වැල් ඇදලා ඉඩම මනිද්දි තම බිරිඳ ඇහැරෙයි, ඇයට කරදරයක් යැයි සිතන ඔහුගේ හිතේ කොතරම් ආදරය ක් ඇය කෙරෙහි ඇතිද? මියැදුනත් ජීවමානව ඇතැයි සිතා ඇගේ සොහොනට වත් පිළිවෙත් කරන ඔහු නම් ආදරණීය ස්වාමියෙකි.

ඇය ඉන්නා කාලේ ඇගේ දෑතින් කන්න බොන්න හදලා දිලා, ඔහුව පෝෂණය කළ අයුරුත්, ලෙඩට දුකට බෙහෙත් කළ හැටිත් ඔහුගේ හිතේ තාමත් මතකයේ තියෙන්නේ ඔවුන්ගේ ආදරයේ තරම ශ්‍රාවකයන් ට පසක් කරවමිනි. කිරි බණ්ඩාත් , සුදු බණ්ඩි ළඟට ගියපු දවසට මිනින්දෝරු මහත්තුරු දම්වැල් ඇඳ ඉඩම වෙන්කරයි. එත් ඔවුන්ගේ හදවත් නම් කිසිදා වෙන් කල නොහැකි ආත්මගත සුන්දර බැඳිමකි.

Comments

Post a Comment

Popular posts from this blog

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ