සන්නාලි දියණියෝ
තැනින් තැන කැඩී බිදි ගිය,මලකඩ කෑ ටකරන් අස්සෙන් වැටෙන ලා හිරු රැස් ඇගේ කෙහෙරැලි ත් එක්ක ස්පර්ශ වෙන්න දරන අහිංසක ආදරය ට හැමදාමාත් හරස් කපන්නේ ට්‍රිං ට්‍රිං ගාන බට්ටා ඔරෝලසුවයි .තව ටිකක් බෙඩ් ෂිට් එකට ගුලි වෙලා නිදියන්න ,රෑ වෙනකන් ජුකීය පාගපු කකුල් දෙකට පොඩි විවේකයක් දෙන්න ඇයට කවදා නම් ඉඩක් ලැබෙයි ද?ඒත් , දවසක් නොගියොත් පඩියෙන් ගානක් කපන්න බලන් ඉන්න සර්ලා සිහිවෙද්දි නම් ,ඇයට ඇඳෙන් නැගිට්ට වෙන්නේ තමන්ට කකුල් දෙකක් තියෙනවා ද කියලත් අමතක වෙලාය.
ජිවත් වෙන්න කාසි හොයන්න තරුණ කෙල්ලෝ විදින දුක, පුටුවකට හරිබරි ගැහිලා කකුල් දෙක උඩදාන් සැප විඳින ටවුන් එකේ අක්කලා ,නංගිලා දන්නවාද? ආපෝ ගාමන්ට් කෙල්ලෝ කියලා හංවඩු ගහන්න නම් මේ සමාජයේ ඔනෑ තරම් මිනිස්සු ඉන්නවා .එහේම නේද? .ගමේ අක්කලා නංගිලාගේ දහදිය බිංදු ඩොලර් වෙලා රටින් පියාඹද්දි ,අහිංසක නාඹර හීන කර්මාන්තපුරයේම ජුකී මැෂින් එක්කම ක්ෂ්‍ය වෙලා යන කතාන්දරය නම් ඒ තරම් සුන්දර එකක් නෙවෙයි.
ඔවුන් දුප්පත් කමෙන් හෙම්බත් වෙලා , බැරිම තැනයි නොදන්න කර්කශ ,කොන්ක්‍රීට් ලෝකයකට පය තිබ්බේ.හීන පොදිබැදන් ආවත් හම්බෙන සොච්චම් පඩියෙන් තාත්තාගේ බෙහෙත් වලටයි ,ගෙදර වියදමට අම්මාට දෙන්නයි,නංගිගේ ,මල්ලිගේ ඉගෙනිම් වැඩ වලටයි , බොඩිමේ ඇන්ටිගේ ලැලී මාළිගාවටයි වියදම් කරාම අතට ඉතුරු වෙන්නේ කීයද? එතකොට ඔවුන්ට කියන්න වෙන්නේ හීන තිබුණට කෝටියක් ,අතේ නෑ ඒක රුපියලක් කියලයි.එහේම නේද?.
නාඹර හීන කොච්චර නම් ලස්සනයි ද? තරුණ කාලේ කරන්නේ නැති දේවල් ආයේ වයසට ගිහින් කරන්න්ද කියලා ඔය හැමෝම කියනවා නේද? එහේමයි කියලා ඔඩෙල් එකට හරි නෝලිමිට් එකට හරි ගිහින් මොණරු දහය පහළොව විසි කරන්න එයාලට කොහෙන් ද සල්ලි?.අන්තිමේදී ඔවුන්ට වෙන්නේ මහරගම පමුණුවට ගිහින් රුපියල් සීයට ,එකසිය පණහට ඇඳුම් දෙක තුනක් අරන් සෑහිමට පත්වෙන්න යි.ඔවුන්ගේ පපු කුහර අස්සේ කෑකැරෙන දුක දැනෙන්නේ සැපවිදින නෝනලා ,මහත්තයලාට නෙමෙයි ලෑලී කාමර අස්සේ දුක්විඳින එකම පංතියේ තවත් කෙල්ලොන්ටම විතරයි .
පරිප්පු හොද්දයි ,පානුයි, කරෝල හොද්දයි බතුයි මාරුවෙන් මාරුවට කන තුන්වෙනි පංතියේ අහිංසක ගැහැණු ළමයි තරම් ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙල්ලෝ
තව නැතුවත් ඇති මේ ලංකාවේ .
හීන කුමාරයෙක් අශ්වයෙක් පිට නැගලා තමන් එක්ක යනකන් බලන් ඉන්න බොළඳ ,සුරංගනා හීන දකින්න ඔවුන්ට ඉඩක් නෑ,වේලාවකුත් නෑ.මොකද මැරිලා මැරිලා ඇවිල්ලා නිදියන පැය දෙක තුනට හීන දකින්නේ කොහොමද ? ඒත් හැඟිම් දැනිම් තියෙන මිනිස්සු විදියට ඔවුන්ගේත් හිතේ පොඩි පොඩි හීන තියෙනවා ,ලස්සන මනාලියක් වෙලා පොඩි කුඩුවක් හදා ගන්න.එත් ඒ හීන වලට පයින් ගහන පාපතරයෝ අන්තිමේදී ඔවුන්ව හංවඩු ගහන්නේ ගාමන්ට් කෙල්ලෝන්ව ගණිකාව කියන පහත් තැනට ඇදලා දාලයි.
ගමෙන් එද්දි පාළුවට තිබ්බ කරට දා ගත්ත චේන් පොටට කෙළ ගිලින ,මැරිලා මැරිලා හම්බ කරලා පොතේ දා ගත්ත කීයක් හරි කඩා ගන්න ඉන්න ,අවස්ථාවාදි හීන කුමාරයන්ට ඔවුන් අහුවෙන්නේ සිල්ලර ආදර බස් වලට රැවටිලයි.
ජිවිතය බිංදුවටම වැටුනත් ,ඒ බවක් නොදන්න, තමන් වෙනුවෙන් ගමේ ඉදන් බලාගෙන ඉන්න, පවුලේ අයගේ අහිංසක හීන සුනු විසුණු කරන්න බැරි අවස්ථා වලදි ඔවුන්ට සිද්ද වෙන්නේ සල්ලිකාර මුදලාලිලාගේ ගඳ ගහන කකුල් පාමුල වැටෙන්නට ය.ඒ වෙනුවෙන් හඬන්නට කඳුළු ඔවුන්ගේ දෑසේ නැති වෙනකන්ම මේ හැම දුකක්ම සතුටින් විඳ දරාගනිවි.
ද.දේ.නි ඇගළුම් කර්මාන්තයේ දායකත්වය අච්චරයි මෙච්චරයි කියලා උජාරුවට ගණන් හිලව් හදන අපි දන්නවද ඔවුන් මැෂිමක් පාගන්න කන කට්ට.ඔෆිස් යන අයියලා ,නංගිලාට නම් ගාමන්ට් අක්කලා ,නංගිලා පොෂ් මදි ඇති.මං දැක්කා මේ ළඟදි සමාජජාල වල විරහා සිංදු වලට බැනලා ,ඒවා අරුත්සුන් ,එවැනි දේ ගැළපෙන්නේ ගාමන්ට් යන අයට කියලා තියෙනවා .මුළු දවසම මහන්සි වෙලා වැඩකරපු එයාලට බොබ්මාලේ ගේ ,මයිකල් ජැක්සන්ගේ ,සකීරාගේ ,ජෙනිෆර් ලොපෙස්ගේ ,හරි එමිනම් ගේ හරි සිංදුවක් ඇහුව්වොත් හිතට සහනයක් දැනෙයි ද? හිතට දැනෙන ,අහපු ගමන් තේරුම් ගන්න පුළුවන් ,සරල විරාහ සිංදුවක් ඔවුන්ට ඊට වඩා රස ඇති.
අධ්‍යාපනය නිසියාකාරව කරගන්න බැරි වුන නිසා හෝ යමි ආර්ථික ප්‍රශ්න නිසයි එයාලට කර්මාන්තපුරයට එන්න උනේ.එහෙව් ඔවුන් දිහා අපහාසාත්මක අයුරින් බලන්න තරම් කුහක මිනිසුන් වෙන්න එපා.පොඩ්ඩක් ඇහැට කනට පෙන්න උන්නාම , සමහර බෝඩිම් ඇන්ටිලාට නම් ඒ අහිංසක කෙල්ලෝ පෙන්නේ රුපියල් ගණන් වලට විකිණෙන සිල්ලර භාණ්ඩ විදියට ටය.තමන්ගේ දුව වගේම මේ ඉන්නෙත් අහිංසක ගැහැණු ළමයිනේ කියලා හිතන්න තරම් ඔවුන්ගේ හිත් වෙඩරු පිඩවල් නෙමෙයි උණු වෙලා යන්න.
ලස්සනට අඳින්න, පළඳින්න, මේකප් එකක් දාන්න, ලස්සන වෙඩින් එකක් ගන්න ටාගට් කරන් ඉන්න කෙල්ලෝ අතරේ සන්නාලිපුර දියණියන්ගේ ටාගට් එක නම් දවස ඉවර වෙද්දි මහන කෑලි ගාණ කවර් කරන එකයි.ඔවුන් හවස හයට ට්වි එකේ පෙන්නන සුජාත දියණියවත් ,අභීත දියණියවත් නෙමෙයි, සල්ලී කියක් හරි හොයා ගන්න , ජුකී මැෂිමටම තරුණ ජිවිතය කැප කරන දිරිය දියණියන් ය.
ලෙඩක් උනාම ගමේදි වගේ අම්මාගේ කොත්තමල්ලී කෝප්පය බොන්න, ආදරෙන් ඔළුව අතගගා නින්ද යනකන් ළගින් ඉන්න වාසනාවක් නැති වුනාට ළගින් ඉදන් ආදරයෙන් ටොකු අනින්න දරිද්‍රතාවය,ආදායම් විෂමතාවය,ශ්‍රමය සූරාකෑම් නම් හැමදාමත් එයාලා ළගින්ම ඉන්නවා.
ආදරයෙන් ළං වෙන්න එන අයියලා නංගිලාට පණ වගේ ආදරේ කරා නම් ,මේ ඉන්නෙත් තමන්ගේ වගේ අහිංසක නංගි කෙනෙක් නේද කියලා හිතුවා නම් එයාලගේ ජිවිතත් මීට වඩා ලස්සන වෙන්න තිබුනා.ඒ වගේ පව්කාර අයියලා ට කියන්න තියෙන්නේ " සිදාදියේ සමණලයනී,යනෙන මගතොට ,හාද වෙන්න හදන්න එපා කෑලි කිය කිය" කියලා තමයි.නැත්තම් කිසිවක් නොදැනෙන සිදාදියට ආපු අහිංසක කෙල්ලෝන්ට වෙන්න උප්පැන්න සහතිකේ පියාගේ නම ලියන තිරුවට ඉරක් ඇදපු කිරිකැටියන් බිහිකරන්න යි.
පාට පාට දේදුන්නක නැගලා එයාලාගේ හීන වලට පියාඹන්න ඉඩක් නැත්තේ දරිද්‍රතාවය කියන බැම්මෙන් එහාට පියාඹන්න අත්තටු හයිය මදි නිසයි.උදේ ,ඉදන් හවස් වෙනකන් මරව මරව ගන්න වැඩ කන්දරාවට සාධරණ ගෙවිමක් එක්කම ඒ අහිංසක කෙල්ලන්ට ආරක්ෂා ඇතුව ඉන්න තැනක් දෙන්න,අනාගතය ලස්සන කරගන්න පොඩි හයියක් වෙන්න පුළුවන් නම් අහස උසට තාප්ප බැදපු කර්මාන්තපුරය ඔවුන්ට ඩිස්නිලන්තයක් වෙයි හැමදාම.
- නිවර්තනා මධුෂානි කොටුවගේ-
Comments
Post a Comment