සිරිලක “හෙලෝ ” වංශ කතාව කියවන්න – ජාතික විදුලි සංදේශ කෞතුකාගාරය

පාදුක්ක මීපේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථාන භූමියේ (Satellite Earth Center) තමයි කෞතුකාගාරය පිහිටා තිබෙන්නෙ. මෙතැනට බස් එකේ හෝ කෝච්චියේ යන්න පුලුවන්. බස් එකේ යන එක තමයි වඩාත් පහසු.  කොළඹ සිට කි.මී 40 වගේ දුරක් තමයි තියෙන්නෙ. බස් එකේ යනවා නම් මීපේ හන්දියෙන් බැහැල ඉංගිරිය පාරේ මීටර් 500 පමණ දුරින් තමයි මේ කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ.

ඔබ මෙතනට යන්න කලින් දුරකථන ඇමතුමක් 0112-859666,0112-087404 හරහා විමසීමක් කරන්න. සමහර අවස්ථාවලදී පාසල් ළමුන් මේ කෞතුකාගාරය නැරඹීමට වෙන් කරගෙන තිබෙන අවස්ථාවක් වුවොත් ඔබට නිදහසේ කෞතුකාගාරය නරඹන්නට අවස්ථාව නැති වෙන්න පුලුවන්. ඒ නිසා දුරකථනය මගින් විමසීමක් කරල යන්න.

පාදුක්ක චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය (Satellite Earth Center)

Image: lk.geoview.info

කෞතුකාගාරය ගැන කියන්න කලින් පාදුක්ක චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය (Satellite Earth Center) පිළිබඳ මදක් විමසා බලමු. මෙය ආරම්භ කලේ 1976 වසරේදී (උපකරණ ගෙනවිත් සවි කිරීම සිදු වී තිබෙන්නෙ 1975 දෙසැම්බර් මාසයේදී). ඒ එවකට පැවති පස් වන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සත්කාරක රට ලෙසට ශ්‍රී ලංකාව ‍තෝරා ගැනීමත් සමගයි. සමුළුවට සහභාගී වූ රටවල් 86 ක රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවට අදාල තොරතුරු හුවමාරු කර ගැනීම සහ පස් වන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ තොරතුරු සාමාජික රටවල් සමග හුවමාරු කරගැනීම සඳහා තමයි මෙම පාදුක්ක චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය නිර්මාණය කලේ. මේ පරිශ්‍රයට ඇතුල් වන ඔබට විශාල ප්‍රමණයේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණ සහ ප්‍රතිග්‍රහණ ඇන්ටෙනා 3 ක් දැක ගැනීමට හැකිය.

• පාදුක්ක- 1 A මධ්‍යස්ථානය -පාදුක්ක චන්ද්‍රිකා පෘතුවි මධ්‍යස්ථානය සතු විශාලතම ඇන්ටනාව. මෙහි විශ්කම්භය මීටර් 30, මෙය වර්ශ 1976 දී ඉදි කර ඇත, මෙම ඇන්ටනාව මගින් INTELSAT චන්ද්‍රිකාව සමග සන්නිවේදන කටයුතු සිදු කර ඇත.
• පාදුක්ක -2 A මධ්‍යස්ථානය-වර්ශ 1995 දී ඉදිකල මෙහි ඇති ඇන්ටෙනාවේ විශ්කම්භය මීටර් 18 කි. මෙම ඇන්ටෙනාව මගින්ද INTELSAT චන්ද්‍රිකාව සමග සන්නිවේදන කටයුතු සිදු කර ඇත.
• පාදුක්ක -4 B මධ්‍යස්ථානය-මෙය වර්ශ 1993 දී ඉදි කර ඇති අතර ඇන්ටෙනාවේ විශ්කම්භය මීටර් 13 කි.

වර්තමානය වන විට මේවා එකක්වත් ක්‍රියාත්මක වන තත්වයේ පවතින්නේ නැත. මෙහි ඇති ප්‍රධාන චන්ද්‍රිකා ඇන්ටෙනාව මතට ගොඩ වී එය පරීක්ෂා කිරීමට මෙහි යන ඕනෑම අයෙකුට අවස්ථාව සලසා ඇත. ඇන්ටෙනාව මතට ගොඩ වීමේදී අදාල නිළධාරියාගෙන් අවසර ගෙන ඒ මතට නැගීමට හැක.
(ඉතා ඉහලට නැගීමට ඇති බැවින් ඔබගේ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්න).

Image: srilankatelecom

කෞතුකාගාරය මහජනතාවට විවෘත වන්නෙ 2016 මැයි 17 වැනිදාය.කෞතුකාගාරය පිහිටි මේ භූමිය ඉතාම නිස්කලංක සුන්දර පරිසරයක්. කෞතුකාගාරය නැරඹීම සඳහා ප්‍රවේශපතක් මිලට ගත යුතු වෙනවා. මිල රු 50 කි.

ඉතින් ප්‍රවේශපතක් මිලට ගෙන කෞතුකාගාරයට ඇතුල් වූ තැන සිට ඔබ ඉන් පිටත්වන තෙක් ඔබගේ මග පෙන්වීම සඳහා නිළධාරියෙකු ඔබ අසල සිටිනු ඇත. ඔහුගෙන් ඔබට කෞතුක වස්තු සහ මේ ස්ථානය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හැක. ශ්‍රී ලංකාවට සන්නිවේදන තාක්ෂණය හඳුන්වාදුන් දිනයේ සිට වර්තමානය දක්වා සන්නිවේදන ක්ෂේත්‍රයේ සිදු වී ඇති වෙනස්කම් ඉතාම පැහැදිලිව සහ විස්තරාත්මක මේ කෞතුකාගාරය තුලදී දැක ගැනීමට හැක.

මෝර්ස් කෝඩ් හරහා සන්නිවේදනය කල උපකරණ, ටෙලෙක්ස් යන්ත්‍ර,ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් දුරකථනය, වගේ උපකරණ දැක ගැනීමට හැක. ඊට අමතරව මුල් යුගයේ භාවිතා කල කේබල් වර්ග,මිනිස් මැදිහත් වීම මගින් සිදු කෙරුණු දුරකතන ඇමතුම් හුවමාරුව (Telephone Exchange), ස්වයංක්‍රීය දුරකතන ඇමතුම් හුවමාරුව (Automated Telephone Exchange) වැනි අතිශය දුර්ලභ උපකරණ දැක ගැනීමට හැක. ඇතැම් කෞතුක භාණ්ඩ විවිධ පුද්ගලයින් විසින් පරිත්‍යාග කල ඒවා වන අතර අනෙකුත් කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව පැවති ඒවායි.

ගුවන් විදුලි ක්ෂේත්‍රය, චන්ද්‍රිකා තාක්ෂණය, රැහැන් සහිත දුරකථන, ජංගම දුරකතන ආදී සන්නිවේදනයට අදාල සියලු ක්ෂේත්‍රයන්ගේ ඉතිහාස කතාව මෙතැන ලියවී ඇත. කෞතුකාගාරයේ අවසන් කොටසේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් හඳුන්වා දීමට නියමිත SMART HOME සංකල්පය ගැන ප්‍රදර්ශන කුටියක්ද අන්තරගත වේ.

ඉතින් නිවාඩු වෙලාවක ගිහින් බලන්න වටින තැනක් තමයි මේ කෞතුකාගාරය. විශේෂයෙන් මතක තබා ගන්න කෞතුකාගාරය ඇතුලත ජායාරූප ගැනීම තහනම්, ඒ ගැන සැලකිලිමත් වෙන්න.

කෞතුකාගාරය අවට ජායාරූප ගැනීමට බාධාවක් නැත. අවට පරිසරයට හානියක් නොවන පරිදි කටයුතු කරන්න වග බලා ගැනීම ඔබගේ යුතුකමක්.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ